Tuesday, January 24, 2012

.......යාලුවේ දැන් ඉතින් ........




වෙල්ඩින් කුරු අරන් ආවත්
යකඩයක් නෙවෙයි පාස්සන්ඩ
ඉඳිකටු නුල් අරන් ආවත්
රෙදි කඩමාල්ලක් නෙවෙයි මහන්ඩ
දොස්තර මහත්තුරු එක්කරගෙන ආවත්
බැරි වේවි සැත්කමක් කරලවත් බේරගන්ඩ

හීනියට හිනහවක් දාගෙන
උඹ එදා මගෙ ලඟම ඉඳගෙන
හෙමි හිමින් බැස්සවූ පිහි තුඩ
හිතේ සංවේදීම පටකය
සිදුරු කරගෙන ගිහින් විනිවිද.....

.....මතකය.....



මැරුණු අක්කා
හැපින්නක් වෙලා ඇවිදින්
අම්මාට දෂ්ටකල
විෂගෝර මතකය,

උදලු බන්දෙන් පහර කා
දඟර ගැහි ගැහි දඟලන
සිරුර ලඟට වී
තාත්ත හැඬු හැටි
මට අද වගේ
මතකය....

"
උඹේ පෙම් පලහිලව්වට
අම්මා විරුද්ද වුනේ
හේන් කුඹුරුවල
අවු කාෂ්ටකේ
අපි වාගේම උඹත්
තපිනවා බලන් ඉන්ඩ
අකමැති හින්දයි දුවේ....
අම්ම උඹට
ගොඩක් ආදරෙයි දුවේ...."
කියා කියා....

ඇස් කුහරවල පිරුණු
බොරපාට කඳුළු අස්සෙන් පෙනුන ,
උදැල්ලට ගෙන ඈව
වළදාන තාත්තගේ චායාව
යන්තමට මතකය....

හිත වටේ දරණ ලාගෙන
හැපින්නක් වගේ
විෂ දල නියවාගෙන
තනි වූ වෙලාවට 
තාමත් ඉඳ හිට දෂ්ට කරන
උඩු දුවන
සරුප මතකය...

(අභ්‍යවකාශ ගත වීමි මොහොතකට)




මේ 
අක මුල් නැති 
අචින්ත්‍ය 
අභිශුන්ය 
රික්තයේ....

ගහ කොළ, 
කඳු හෙල්,
ගංගා, 
මිටියාවත්,
සතා සිවුපාවා, 
මිනිස්සු,
යන්ත්‍ර සුත්‍ර 
මේ කිසිවක් 

'
නුඹ නෙවෙයි 
නුඹේ නෙවෙයි 
නුඹේ ආත්මය නෙවෙයි ' 

එම්බා.... පෘතුවිය! 
නුඹ කවුද
?

....එකට බුදුවීම....




දැන් ඉතින් එකට බුදුවනු බැරිය.
මන්ද යත් එක පසුවී 
බොහෝ කල් ගතවී ඇති බැවිණි.
සහෝදරයා.....
අපි දෙකටවත් බුදුවෙන්ට ට්‍රයි කරමු.
කොහොමටත් මාරයා එද්දි 
එකයි තිහ පහුවෙයි

තව දෙයක්!

හොඳට මතක තියා ගනිං මිත්‍රයා....
මාරයා එන්නේ ඉස්සර වගේ 
කඩුකස්තාන
දුණු ඊතල අරං නොවන වග 
ඊට වඩා දස දහස් ගුණයක් 
තියුණු 
සුක්‍ෂම 
දරුණු 
දියුණු 
අවි ආයුධ දැන් 
මිනිහ ගාව....


‎.....තවත් එක කතන්දරයක්.....



කඳු වළල්ලේන් එපිට 
ඉර මඩල තුවාලව 
රතු පාට ලේ වලින් 
සුදු වලාකුළු තෙමින

ඔහු ඈව පාපැදියෙ
පසු පසින් තියාගෙන
කුඹුරු වැඩ අහවරව 
ගෙදර යන්නට යෙදින

බෝක්කුව ළඟ කැලෑ
පෙදෙස දෙවනත් කරන්
දෙකන් ගුගුරා මහත් 
කුංචනාදය ඇසින

කළුවරට වඩා කළු 
මරණීය හෙවනැල්ල
හොඩ වැලෙන් ගෙන ගොදුරු 
තලා පාගා තිබිණ

වසර ගණනක් පුරා
දැවෙන කළු ප්‍රශ්නයක්‌
හදවතක හැඩය ගෙන
අසල වැටිලා තිබිණ
..................................

පහුවදා උදෑසන
මිනීවල රස බලා 
පොතක සටහන් කළා
රජේ කොරනේල් තැන

........කෙටි චිත්‍රපට පිටපත.......




(මිට වසර බිලියන 4.5 කට පෙර පෘතුවිය)

දුර රූපය: 
ඝන වලාවෙන් බර 
අහස්කුස යට 
තැන තැන වැඩුන මීවන පර්ණාංග ය.
පෙඳ පාසි ගහන 
මඩ කඩිති අතර 
ඉඳහිට මතුව පෙනෙන ගොඩබිම් ප්‍රදේශ ය.

මධ්‍ය රුපය :
(
මඩ කඩිත්තක්) 
අනාගත සේපියන්ස් පරපුරක 
පිහිනන කළල රූප:-
ඉස්ගෙඩියන්ගේ ස්වරුපය ගත්
ජීවීන් ගොන්නකි.
ස්වල්ප වූ මඩ දියෙහි
එකා පිට එකා වැටෙමින් 
දිවි රැක ගන්ට පොරකති 

සමීප රූපය :
උන් අතුරින් එකෙකු 
ඔසවා ඔලුව මඩ දියෙන් පිටතට 
ගොඩබිම දෙසට යන්නට 
යෙදෙයි මහත් වෑයමක.
මේ අතර 
පොර කෑම නවතා
සෙස්සන් සැම
ඇද උගේ වරලින්
පාගා පෙඳය තරහින් 
ඇද දමයි ඌව නැවතත්
සිටිය මඩ දියටම 

අවසන් රූපය:
(
කළු තිරය මැද සුදු පැහැති ලොකු අකුරින්)
"
මිතුර එකල සිටම පැවත එන විකෘතියකි මෙය 
ප්‍රකෘතිමත් වෙන්නට දැන් ඉතින් කාලය...."

Friday, January 20, 2012

කරාඹු

එදා වේලවත් කා ගන්ඩ 
බැරි කාලයක 
රන් රුවන් මිණි බැඳුන 
අතීතය හෑරුවෙමි

සේසතම උකස්‌ කර 
බේරගන්නට බැරුව 
හාමතේ මිය ඇදුන 
ප්‍රේමයේ 
ඇට කැබලි විසිර ගිය 
මිනී වළ කෙළවරේ

හිස්‌ කබල දෙපැත්තේ
දිලිසුණා 
ප්ලාස්ටික් කරාඹු

පාලුවට ගිය ඇගේ 
දෙකන් පෙති සරසන්ඩ
කඩෙන් රුපියල් හැටට 
අරන් දුන් කරාඹු

මිනී වළවල් කණින 
හොරුන් හතුරන් පවා
අතට ගෙන විසි කරන 
කරාඹු

මටත් දැන් මොනවටද 
මිලක් අගයක් නොමැති 
නිකං හිත රිද්දවන 
කරාඹු

සොයුර

මල් පොකුර වෙමු අපි 
ඵල දරනු වස් හෙට උදෑසන
අද රාත්‍රීයේ විකසිත වන 
එකම නටුවෙන් බැඳුන

එහෙත්
දයාබර සොයුර 
සීතල සුළඟ
විසකුරු කටු අනින
අන්දකාරය 
මග සලකුණක් නොපෙනෙන
ඒ මධ්‍යම රාත්‍රිය 
බොහෝ බියකරු විය හැකිය 

පෙති දිග හරින්නට වෙහෙස දරනා අතර 
දුර්වලව ශක්තිය 
දහදිය මුගුරු මැද
ඇතැම් මල් පරවී යා හැකිය 
අප අතරම සිටින 

එහෙත් සිදුවිය යුතුම සිදුවීම 
විකසිත වීම බව සිහිකොට 
උන්ගේ දහදියෙන් මුහුණ පිසදාගෙන 
උත්සහ කළ යුතුය 

අමතක නොකල යුතුම දෙය 
සොයුර 
ඵල දරන ඵල තුළ
දහස ගණනක් බිජුවට ඇති බවය 
මතු පරපුරක් උපදින